
පන්දුවාර 20යි 20 ක්‍රිකට් අංශයේ වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ රෝහිත් ශර්මා වාර්තා අතරට එක් විය.
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී ය.
ඉන්දියා – බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලක්නව්හිදී ඊයේ පැවැත්විණි.
මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවූයේ රෝහිත් ශර්මා ය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශර්මා සහ ශිකර් ධවාන් සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.
ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 123කි.
ධවාන් පන්දු 41කින් 4 පහර 3ක් ද සමගින් ලකුණු 43ක් රැස් කළේ ය.
වේගවත් පිතිහරඹයක නිරත වූ රෝහිත් ශර්මා පන්දු 61කින් ලකුණු 111යි.
4 පහර 8කින් සහ 6 පහර 7කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය.
ඒ අනුව ශර්මා ඉතිහාසයට එක් වූයේ, පන්දුවාර 20යි 20 අංශයේ වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ය.
එමෙන් ම පන්දුවාර 20යි 20 අංශයේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ නායකයා ලෙස ද ශර්මා වාර්තා අතරට එක් විය.
පන්දුවාර 20 අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 2කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 195කි.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 7 ලකුණු 81කදී බිඳ වැටිණි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩැරන් බ්‍රාවෝ ලකුණු 23යි.
කීමෝ පෝල් ලකුණු 20ක් රැස් කළේ ය.
බුවනේස්වර් කුමාර්, ඛලීල් අහමඩ්, ජස්ප්‍රිට් බුම්රාහ් සහ කුල්දීප් යාදෙව් අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගයේ නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 9ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 124කි.
ඉන්දීය කණ්ඩායම මේ වන විට තරග 2ට 0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගෙන සිටියි.